Thursday, September 21, 2017

විදේශිකයින් අතීත ශ්‍රි ලංකාව වර්ණනා කළ ආකාරය..........



          අපි කලින් ලිපිවල සාකච්ඡා කළා වගේ සාහිත්‍ය මූලාශ්‍රවල සත්‍ය තොරතුරු වගේම, අසත්‍ය තොරතුරු වුණත් සදහන් වෙන්න පුලුවන්. විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නෙ අපේ රට ගැන විදේශිකයන් රචනා කරපු සාහිත්‍ය ග්‍රන්ථවලට. සමහරක් අය අපේ රටට ඇවිල්ලා, සමාජ පරිසරය සහ වටපිටාව ගැන අධ්‍යනය කරලා ඒ පොත් ලියලා තියෙනවා. තවත් සමහරක් අය අපේ රටට එන්නෙ නැතුව, වෙනත් වෙනත් රටවල්වල ඉදගෙන අපේ රට ගැන ලියලා තියෙනවා. අන්න එහෙම ලියපු පොත්වල නම් විවාදාත්පන්න වගේම අසත්‍ය කරුණු කාරණාත් සදහන් වෙනවා. අපි සාහිත්‍ය මූලාශ්‍ර ගැන හදුන්වපු ලිපියෙ ලoකා ඉතිහාසය අධ්‍යනය කරන්න පුලුවන් ප්‍රධාන විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කිහිපයක නම් සදහන් කළා. මේ ලිපියෙන් ඒ සාහිත්‍යයන්වල වගේම අප්‍රසිද්ධ සාහිත්‍යය මූලාශ්‍ර ගැන අධ්‍යනයක් කරමු. හැබැයි ඒ ඒ පොත් ලියපු ඒ ඒ විදේශිකයො, අපේ රට දිහා බලලා තියෙන්නෙ ඒ ඒ අයගෙ කෝණ වලින්. ඒ නිසා අපේ රටේ ඉතිහාසය සමහරක් පොත්වල විකෘති කරලත් ලියලා තියෙනවා.
  01. ටොෆෝග්‍රැෆියා ක්‍රිස්ටියානා - කොස්මස් ඉන්ඩිකොප්ලස්ට්ස්
"ලoකාවේ දිග සහ පළල ගෞඩියා 300කි. ලoකාවේ විරුධ රජුන් රැසක් සිටියි. ඒ ලoකාව තුළ සිවිල් යුද්ධයක් පවතින නිසා විය හැක. ලoකාවේ ආනයන සහ අපනයන වෙළදාම සරුය. විශේෂයෙන් ඉන්දියාව, පර්සියාව, චීනය, මිසරය, රෝමය සමග ආනයන අපනයන වෙළදාමෙන් වාසි ලබයි. චීනයෙන් ගෙන්වන පට රෙදි සහ සදුන් දර අධික ලාභයක් ලැබෙන සේ ඉතියෝපියාව, පර්සියාව සහ ඉන්දියාව යන රටවල් වලට අලෙවි කරයි. මෙම දිවයිනේ බහුලව දැකිය හැකි වන්නෙ රතු මැණික් කැටය. මෙහි වෙහෙර විහාර බොහෝමයක් ඇති අතර අපනයනය කරනා අලි ඇතුන්ගේ මිළ අධිකය. පර්සියාවෙන් අශ්වයන් ආනයනය කරන අතර ඊට රජයෙන් බද්දක් අය නොකරයි. පර්සියානු නිකායට අයත් කතෝලික පූජකවරු මෙම දිවයිනේ සoචාරය කර ඇත".ග්‍රන්ථය රචනා කරන කොස්මස් ලoකාවට පැමිණි පුද්ගලයකු නොවේ..

 02. සිල් සිලාන් අල්කටාරින් - අබුසයිද් හසo
"මෙම රට රතු කැට (රතු මැණික්) වලට ප්‍රසිද්ධියක් උසුලයි. ඒ වගේම කහ සහ කොළ පැහැයෙන් යුතු අපූරු මැණික් ගල් හමු වෙයි. පතල් හාරා, ඉල්ලම් කඩා ගැරීමෙන් මෙම කර්මාන්තය සිදු කරයි. මෙහි අධ්‍යාපනික මධ්‍යස්ථාන හෙවත් පිරිවෙන් බොහෝය. ඒ වායෙන් පඩිවරු බිහි වෙයි. දඹදිවින් විශාල පිරිසක් මෙහි අධ්‍යාපනය ලැබීමට පැමිණෙයි. මෙම දිවයින සරුසාර නිල්වන් තුරුලිය සහ සරුසාර තෘණ ලතා, පිරිසිදු සිසිල් දියෙන් පිරී ගිය ගoගා හා වැව් වලින් සමන්විත වේ. මනා වාතාශ්‍රයක් ඇති අතර පරිසරය දුටුවන් වශී කරවයි. බොහෝ විදෙස් සoචාරකයන් මෙහි වැඩි කාලයක් ගත කිරීමට ප්‍රිය කරයි. රටේ රජු රට වැසියන්ට ආගමික නිදහස ලබා දී ඇත. ඒ නිසා විවිධ ආගම්වල වැසියෝ මෙහි වාසය කරයි. කිතුල් සහ පොල් වැනි තාල වර්ගයේ ගස් වලින් ගන්නා රා ඉතාමත් අනර්ඝ වන අතර විනෝද ක්‍රීඩා ලෙස‍ දාම් ඇදීම සහ කුකුළන් කෙටවීමේ යෙදීමට මෙහි වැසියෝ ප්‍රිය කරයි".

 03. මාකෝ පෝලෝගේ ගවේශනය - මාකෝ පෝලෝ
"සිලාන් ලොව රමණීය දිවයිනකි. මෙහි වැසියන්ගෙන් රජය කප්පම් (බදු ) අය නොකරයි.මෙහි වැසියෝ පිළිම වන්දනයේ යෙදෙති.ඔවුන්ගේ ඇදුම් සරලය.මෙහි ඔවුන් සහල් වගා කළද, තිරිගු වගා නොකරයි. තලවලින් තෙල් සිදිති.කිරි, මස්, බත්, රා කා බී ජීවත් වෙන් මොවුන් ඉතාමත් සාමකාමී මනුස්ස කොට්ඨාශයකි".

04. සෆර්නමා - ඉබන්බතූතා
"මෙම දේශය මැණික්වලට ඉතාමත් ප්‍රසිද්ධය. කාන්තාවන් වළලු, මාල මෙන්ම පා සළඹද පළදියි. අපි ශ්‍රී පාදය වන්දනා කරන්නටද ගියෙමු. යන ගමනේදී වදුරන් සහ කූඩැල්ලන් රැසක් දකින්නට ලැබුණි. ඉන්පසු  අපි දෙව්නුවර ගියෙමු. ඉන්පසු කොළඹ හරහා පුත්තලමට ගොස්, වරායෙන් නැව් නැග්ගෙමු. යාපනයේ සිට පුත්තලමේ වෙරළබඩ තීරය දක්වා පාලනය තිබුණේ යාපනය රාජධානියේ ආර්යය චක්‍රවර්තීන් යටතේය".

 05. oකා දිග් විජය සහ ධර්ම විජය - ක්වේරෝස් පියතුමා
"අපිට ආදර්ශයක් වන සෙයිලාඕ වැසියන්ගේ සදාචාර ගති ගුණ අප අගය කළ යුතුය.සොරකම එහි නැත.ඔවුහු කිසි දිනෙක තම ගෙවල්වල දොර අගුල් නොදමති".

 06. හෙළදිව ඓතිහාසික ඛේදවාචකය - ජුවාම් රුබේරු
"ලoකා රාජ්‍යය ධනවත්ය. එහි කුරුදු ලොව හොදම ඒවාය.රතු, නිල්, පුෂ්පරාග, වෛරෝඩි ආදී මැණික් බහුලය.එහි නැත්තේ දියමන්ති පමණි.මේ දිවයින මිහිපිට පාරාදීසයක් යැයි කී අය එසේ කියා ඇත්තේ ඒසා කුඩා රටක් එතරම් ධන සම්පත්වලින් පිරී ඇති නිසා විය යුතුය".

07. සීලෝන් - ජෝන් ඩී මරිඤ්ඤෝලි පියතුමා 
"මෙම දේශයේ භික්ෂූන් වහන්සේලා ඉතාමත් සිල්වත්. මිනිසුන් බෝධි වන්දනාවේ යෙදෙන ආකාරය හරි අපූරුය.අපි ශ්‍රී පාදස්ථානයට ගිය අතර බේරුවල ප්‍රදේශයේ නවාතැන් ගත්තෙමු.මැණික් වර්ග හමුවෙන මේ දිවයිනේ, ඇතැමුන් මුතු කිමිදීමේ යෙදෙයි. පළතුරුවලට අමතරව පොල්, කොස් වැනි දෑද මොවුන් අනුභව කරති.මෙම රටේ අධ්‍යාපන ආයතන රාශියක් ඇති අතර ඒවායින් ක්‍රමවත් අධ්‍යාපනයක් ලබා දෙයි".

 08. එදා හෙළ දිව - රොබට් නොක්ස්
"සිංහලයෝ උදේ සවස පිළිම වහන්සේ ඉදිරියෙහි මල් පූජා කෙරෙති. නවගුණ වැල් අතින් ගෙන නිතර භාවනාවෙහි යෙදෙති. සොරකම අතිශයින් ම පිළිකුල් කොට සලකති. කිසි ම සිංහලයකු කවදාවත් හොරකමක් කළ බවක් මම නොදනිමි. සිංහලයෝ කරුණා කෙරෙති. පරහට උපකාර කෙරෙති. ආගන්තුකයනට දයාවෙන් සංග්‍රහ කෙරෙති. සිංහලයන් ළඟ මේ ගුණ ධර්ම ඇති බව අත්දැකීමෙන් ම දනිමි.ඔවුන්ගේ ගමන් ලීලාව ද, හැසිරීම ද ඉතා උදාර ය. කිසිවක් වහා තේරුම්ගත හැකි විචක්ෂණ ඤාණයක් සිංහලයනට ඇත්තේ ය. ඔවුහු ස්වභාවයෙන් ම මස් කෑමත් මත්පැන් බීමත් අපි‍්‍රය කරති. ඔවුහු කිපෙන සුළු නොවෙති. කෝපයක් ඇති වුව ද වහා එය සන්සිඳවා ගෙන සමගි වෙති. සිංහලයෝ ඇඳුමින් පිරිසිදු ය. ඉතා ශිෂ්ට ලෙස ආහාර අනුභව කරති. වැඩි වේලා නොනිදති. සිංහල ස්ත්‍රීන්ගේ හැසිරීම සුවිනීත ය. ගමන් ලීලාව ද ඉතා සංවරය. සිංහල ස්ත්‍රීහු අරපරෙස්සමෙහි ඉතා දක්ෂ වෙති. ස්වාමිපුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශයින් ම විස්වාස කෙරෙති. සිංහල ස්වාමිදුව කොතරම් මහේශාක්‍ය වුවත් කොතරම් දැසි දසුන් සිටියත් ගෙදර සියලු කටයුතු කරයි.

සිංහලයන්ගේ භාෂාව ද සිංහලයන් මෙන්ම පොහොසත් ය. එය මටසිලිටිය. සුමධුරය. අලංකාරය. සිංහලයෝ චතුර කථිකයෝය. සිංහලද්වීපයේ එක ම සිංහල හිඟන්නෙක්වත් නැත. උඩරට සිoහලයන්ගේ ගෙවල් පොල් අතු හෝ පිදුරු වලින් සෙවිලි කළ කුඩා ඒවාය. වරිච්චි බිත්තිවලට මැටි ගසා ඇති අතර සෑම ගෙදරකම ගෙපිළක් දක්නට ලැබීම සුලභ දසුනකි. ගෙපිලක උස අඩි භාගයක් පමණ වේ. රදළවරුන්ට හැර සාමාන්‍ය ජනයාට පෙදරේරු හෝ වඩු සහාය ලබා ගත නොහැක".
A HISTORICAL RELATION OF THE ISLAND CEYLON -ONLINE

 09. පාහියo හිමියන්ගේ දේශාටන වාර්තාව
"හෙළදිව බෞද්ධ අධ්‍යාපනික ආයතන තුනක් කරට කර හැපෙමින් අධ්‍යාපනය පතුරවමින් සිටියි. ඒ අභයගිරි, මිහින්තලේ සහ මහා විහාරය කියන ආයතන ත්‍රිත්වයයි.අභයගිරියේ භික්ෂූන් 5000ක්ද, මහා විහාරයේ භික්ෂූන් 3000ක්ද, මිහින්තලේ භික්ෂූන් 2000ක්ද වැඩ වාසය කරති.මා සිතන විදිහට මෙහි බොහෝ ප්‍රදේශ ජනාවාස කරන ලද්දෙ වෙළදුන් විසිනි. මේ රටේ ආනයන සහ අපනයන වෙළදාම ඒ තරම් දියුණු තත්වයක පවතියි.අභයගිරියේ පැවැත්වූ දළදා පෙරහැර මම සියැසින් දැක ගත්තෙමි. මෙහි ඇති බෞද්ධ සිද්ධස්ථාන බොහෝය".
10. හියුත්සාo හිමියන්ගේ දේශාටන වාර්තාව
"මා ලක්දිවට පැමිණ නැතත්, ඉන්දියාවේ සිටින විට ලක්දිවෙන් පැමිණි භික්ෂූන් වහන්සේලා දෙනමකගෙන් ලක්දිව පිළිබද තොරතුරු දැන ගැනීමට ලැබුණි. උන්වහන්සේලාට අනුව ලක්දිව සාරවත් රටකි. එහි මල්, පළතුරු, ධාන්‍ය ඉතා බහුලය. ජනයා ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමට උනන්දුවක් දක්වයි. එහි වෙසෙන ජනයා ගුණදම් වැඩීමට, සිල්වත්කමට, පිo රැස් කිරීමට ප්‍රිය කරයි".

 11. ඇමිනස් මර්සිලින්තම
"ලක්දිව සහ රෝමයේ සීසර් අධිරාජ්‍යයා අතර ගිවිසුමක් අත්සන් කෙරිනි. ලක්දිවෙන් රෝමයේ හමුදාව සදහා ආයුධ සැපයීම එහි එක් කරුණකි. ලක්දිව තරම් ඉස්තරම් වර්ගයේ ආයුධ නිෂ්පාදනය කරන වෙනත් රටක් ලෝකයේ තව නැත".

12. ඉන්දිකා - මෙගස්තීනස්
"සලෙයි යනු අති විශාල ප්‍රමාණයේ මැණික් උපදින රටකි. එහි පොල් රුප්පාවන් ඉතාමත් මනරම් ලෙස ඈතට දිස් වෙයි. මා සෙලයින් රටෙන් මෙහි පැමිණි වෙළදුන් සමග සාකච්ඡා කළ විට අනාවරණය වුණේ ඉන්දියාවේ අලි ඇතුන්ට වඩා සලෙයි රටේ අලි ඇතුන් ප්‍රමාණයෙන් ඉතාමත් විශාල බවයි. සලෙයි රටේ ඇතුන් වෙළදාම ගජරාමෙට සිදු වෙයි. එහි වැසියෝ දිගුවට කෙස් වවති. වී, ඉගුරු, මී පැණි ආදී ද්‍රව්‍යන් එහි බහුලව භාවිතා වෙයි. ආසියාවේ රටවල්වල සිදු වෙන ආනයන සහ අපනයන වෙළදාමේදී සලෙයි රට ඉදිරියෙන්ම සිටියි".
  
 13. නැචුරාලිස් හිස්ටෝරියා - ප්ලීනි
"මෙහි වැසියෝ අවුරුදු 100ක පමණ ආයුෂ වලින් යුක්ත වෙයි.මෙහි ඇති කුරුදුවලට ලෝකයේ රටවල් වලින් ලැබෙන ඉල්ලුම සුළු පටු නොවේ.එමෙන්ම ආනයන සහ අපනයන වෙළදාමටද කදිම තෝතැන්නකි".

 14. පර්සියානු යුද්ධය - ප්‍රකෝපිස්
"ලක්දිව යනු ලෝකයේ තරගකාරීම වෙළදාම තිබෙන රටවල් අතරින් ප්‍රධාන පෙළේ රටකි. ඉතියෝපියන්වරුන්ට ලoකාවේ වරායන්වලින් පට රෙදි මිළට ගැනීමට, පර්සියානු ජාතිකයන් ඉඩ දුන්නේ නැත".
15. ජියෝග්‍රොෆිකා - ඉරෙටොස්තීන්ස්
"ලක්දිව වෙළදාමට විදේශ රටවල් වලින් ඉහළ ඉල්ලුමක් ඇත. මෙම දිවයිනේ නගර කිසිවක් නැති අතර ගම් 700ක ප්‍රමාණයක් අඩoගු වේ".ඉරෙටොස්තීන්ස් ලoකාවට පැමිණ නැති අතර මේ ග්‍රන්ථයේ ඇති බොහෝ තොරතුරු සාවද්‍ය වේ.

     ඒ වගේම අපේ රටේ ඉතිහාසය සහ එවකට පිහිටි සමාජ පරිසරය ගැන තවත් විදේශීය පොත් ගණනාවකම සදහන් වී ඇති අතර භූගෝල විද්‍යාඥ ටොලමිගේ "භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය" කියන ග්‍රන්ථයේ අපේ රටේ භූ විෂමතාව ඇතුළත් සිතියමක් සහ අපේ රටේ ප්‍රධාන නගර ගැන කරුණු ඇතුළත් වෙනවා. ක්‍රි.පූ 4 වෙනි සියවසේ රචනා වෙන මනෙසි ක්‍රිටස්ගේ කෘතියක ලoකාවත්, වයඹදිග ඉන්දියාවත් අතර සිද්ධ වුණු වෙළදාම ගැන සදහන් වෙනවා. තායිලන්තයේ රත්න පඤ්ඤ හාමුදුරුවන් රචනා කරපු "ජිනකාලමාලි" කෘතියේ දෙරටේ ආගමික සහ දේශපාලනික සම්බන්ධතා ගැන සදහන් වෙනවා. ඉත්සිo හිමියන් සහ ජුකූවාත් අපේ රට ගැන පොත් ලියපු චීන ජාතිකයන්.කාශ්මීර පොත්වල (රාජතරoගනී) සදහන් වෙනවා එහේ වැව් හදන්න, අපේ රටෙන් කට්ටියක් එහාට ගෙන්න ගත්තා කියලා. ක්ලෞඩියස් ඊලියන් රචනා කරපු "චරියා හිස්ටෝරියා" සහ "නැචුරා ඇනිමාලියම්" කියන ග්‍රන්ථවල අපේ රටේ වෙළදාමට අමතරව ධීවර කර්මාන්තය සහ චිත්‍ර කලාව ගැනත් සදහන් වෙනවා. ඉන්දියාවේ රචනා වුණ "රාමායනය", "ස්කන්ධ පුරාණය", "පට්ටිනම්පාලෛ", "දිව්‍යාවදානය" වගේ පොත්වල පිළිවෙලින් රාම රාවණා යුද්ධය, කතරගම දෙවියන්, දකුණු ඉන්දියාවට ලoකාවෙන් කළ සහල් අපනයනය, අපේ රටේ ජනාවාස ව්‍යාප්තිය ගැන සදහන් වෙනවා.දිව්‍යාවදානයේ ඇති වාක්‍ය කණ්ඩයක් Pali Text Society එකෙන් නැවත මුද්‍රණය කළ ජිනකාලමාලි ග්‍රන්ථය ක්ලෞඩියස් ඊලියන්ගේ නැචුරා ඇනිමාලියම් වැනීසියානු ජාතික නිකලෝද කොන්ති රචනා කරපු ග්‍රන්ථයේ අපේ රටේ කුරුදු වෙළදාම සහ මිනිස්සුන්ගෙ ජීවන රටාව ගැන වටිනා කියන තොරතුරු රාශියක් සදහන් වෙනවා. ග්‍රීක ජාතික නාවිකයෙක් රචනා කරපු "පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී" කියන පොත රචනා වෙන්නෙ නාවික කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට සහ රටින් රට සoචාරයේ යෙදෙන මුහුදු සoචාරකයන් අරමුණු කරගෙන. ඒ අයට උපදෙස් ලබා දෙන මාර්ගෝපදේශන ග්‍රන්ථයක් විදිහට. අපේ රටේ මුතු මැණික් සහ කපු රෙදි කර්මාන්තය ගැන ඒකෙ තියෙන විස්තර වෙනත් ග්‍රන්ථයකින් හොයා ගන්න නැති තරම්..!!!!!!!



0 comments: