Thursday, September 21, 2017

භික්ෂුන් දේශපාලනයට සම්බන්ද විය යුත්ද........




        දැනට ශ්‍රි ලංකාව තුළ පවතින දේශපාලනික ක්‍රියාකාරිවය මත භික්ෂුව දේශපාලනයට මැදිහත් වීම සම්බන්ධව යම් කතා බහක් දක්නට ලැබෙන්නකි.එම කතාබහ තුළ භික්ෂුව දේශපාලනයට නිරත විය යුතුද නැද්ද යන්න ප්‍රබලව දක්නට ලැබුණි......... 
                                                                          
                                         මෙකී මුලික කතාබහ සම්බන්දව තොරතුරු කතාකිරිමට පළමුව මෙකි සංකල්පයන් සම්බන්දව දැනුවත් භාවය වැදගත් වේ.එහිදී දේශපාලනය යනු කවරේද යන්න පිළිබදව සාකච්ඡා කරන්නේ නම් දේශපාලනය යනු රටක හෝ ජාත්‍යන්තර වශයෙන් බලපවත්වනු ලබන පරමාධිපත්‍ය සහිත පාලක කේන්ද්‍රයක් හරහා පාලනය කරන හා එකී පාලනයට යටත් ජනතාවගේ මැදිහත් වීම මත කෙරෙන පාලන ක්‍රියාකාරිත්වයේ සමස්ථය දේශපාලනය ලෙස අර්ථ ගැන්විය හැක.එහෙත් මෙහි දී දේශපාලනය යන්න දිත්ව ස්වරෑපයක් දක්නට ලැබේ.මෙය සැම රටකම දක්නට ලැබෙන්නකි.එම දිත්ව ස්වරෑපය නම් රටක දේශපාලනය යනු දේශපාලනඥයන්ගේ සැබෑ ක්‍රියාකාරීත්වයයි.තුන්වන ලෝකයේ රටවල ප්‍රජාතන්ත්‍රවාදය‍,යහපාලනය නිදහස් සාධාරණ මැතිවරණ, බලපැම් කණ්ඩායම්,ජනමත විචාරණය,වැනි ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණයන් මෙකි තුන්වන ලෝක රටවල දක්නට ලැබෙන රාජ්‍යය යාන්ත්‍රන ක්‍රියාවලියයි.නමුත් මෙය සැබැම තත්වය ද යන්න සෙවිම වැදගත්ය. මන්ද එය භික්ෂු දේශපාලනය කෙරෙහි හේතු වන බැවිනි.එසේ නම් සමාජදේශපාලන ක්‍රියාකාරකයෙකු වශයෙන් භික්ෂු දේශපාලනය යනු කුමක්ද,භික්ෂුන් දේශපාලනයට ඒම කෙරෙහි බලපාන හේතු කවරේද,භික්ෂුවට දේශපාලනය කිරීම අකැපද නැද්ද යන්න,භික්ෂුව දේශපාලනයට ඒම පිළිබද සමාජ මතය යන කාරණා සොයා බැලිය යුතුය.ඒ හරහා භික්ෂුව දේශපාලනයට සහභාගී විය යුතුද නැද්ද යන්න පිළිබද සොයා බැලිය හැක. සමාජවිද්‍යාව තුළ ආගම හා දේශපාලනය පවතින සම්බන්දතා පිළිබද විවිද අදහස් විවිද සමාජ විද්‍යාඥවරයන් විසින් ලබාදී ඇත එම අදහස් පිළිබදව සොයා බලන්නේ නම්

       
      එමිල් ඩර්කයිම් විසින් 1912 දී රචනා කරන ලද The Elementary form of religious life යන කෘතිය තුළින් ආගම යන්න විස්තර කර    ඇත‘ආගම යනු ශුද්ධ යයි සම්මත විස්වාසයන් හා භාවිතයන් සමුහයක් වටා ගෙතුන අන්තර් රදා පැවැත්මක් ඇති විස්වාසයන් හා භාවිත ක්‍රමයන් මගින් සමාජයක සියල්ලක්ම එක් සධාචාර ප්‍රජාවක් ලෙසට සංවිධානය කරන ආයතනයකි.එසේනම් ආගමේ දක්නට ලැබෙන සුවීෂේශි තත්වයක් නම් ආගමේ කාර්ය වන්නේ යම් පොදු විස්වාසයක් කෙරෙහි මිනිසා මෙහෙය වීමයි.එසේම එකී පරමාර්ථයන් ආගම් අනුව වෙනස් වන  අතර එහිදි එකී පරමාර්ථයන් ඉටු කරගනු ලබන්නේ කෙසේද යන්න පිළිබදව ඒ ඒ ආගම්හි පවතින විස්වාසයන් වෙනස් වේ.
         මෙහි සාකච්ඡාවට භාජනය කරනු ලබන්නේ ඒ ඒ අගම් සතුව පවතින විවිධ පරමාර්ථ ඉටු කර ගන්නා ක්‍රමයන් නොව භික්ෂුන් වහන්සේලා තමන් සුරකිනු ලබන ,ආරක්ෂා කරනු ලබන ධර්මයන් ඇතුළත් ආගම තුළින් භික්ෂුන් වහන්සේලා වෙත පනවනු ලැබු සහ විනය සංවිධානයේ පවතින ක්‍රමවේදයන් තුළින් භික්ෂුව හට පනවන විනය නීති හරහා පනවනු ලැබු සීමාවන් තුළ දේශපාලන සහභාගිත්වයේ පවතින සීමා හා භික්ෂුවගේ කාර්ය භාරය කුමක්ද යන්න පිළිබදව සොයා බැලීම හරහා භික්ෂු දේශපාලනයේ නිරත වීමේ ගුණ අගුණ පිළිබද විමසා බැලිය හැක.ලංකා ඉතිහාසය දෙස බැලීමෙදි පවා පැහැදිලිව පෙනෙන කරුනක් නම් මිහිදු මාහිමියන්ගේ ලංකා ගමනේදී හා එම ධර්ම ධුත මෙහෙවර හරහා ලංකාවට බුදු දහම හිමි විය.ඒත් සමගම ලංකාව තුළ බුදු දහම රාජ්‍යය ආගම බවට පත් විය.රජුගේ රාජ්‍යය වගකීම් අතර පැවති එක් ප්‍රධාන කර්තව්‍යයක් නම් බුදු දහම ආරක්ෂා කරගැනිම සහ බුදු දහමේ චිරස්තිය උදෙසා රාජ්‍යය අනුග්‍රහය ලබා දෙමින් කටයුතු කිරිම වේ.එසේම ලංකාවේ ඓතිහාසික සංසිද්ධි තුළින් නිරූපණය කරනු ලබන දේශපාලනික ඉතිහාසය තුළ පවා භික්ෂුව රාජ්‍යය පාලනයට සම්බන්ද වෙමින් රජුන් පත් කිරිම,රජුන් ඉවත් කිරිම,රජුන් තැනිම රජුන් ඉවත් කිරිම,රජුට අනුශාසනා ලබාදිම ආදී රාජ්‍යය කටයුතු වලට සම්බන්ද වෙමින් රාජ්‍යය පාලන කටයුතු ද කළ බව සදහන් වේ. නමුත් අමරදාස ලියනගමගේ සුරීන්ගේ අදහස් අනුව,
         
    අතීතයේ මෙන්ම ජනප්‍රිය බොදු වහරේ කියවෙන්නේ භික්ෂුන් වහන්සේ රාජ්‍යය පාලකයාට ධර්මයෙන් සහ අර්ථයෙන් අනුශාසනා කළ බවත් පාළකයා භික්ෂුන් වහන්සේලාට කන්දී ඒ අනුව දැහැමින් රට පාලනය කළ බවත්ය.එහෙත් වඩා සමීප කියවිමක යෙදුනතින් ඒ කාරණය ඇත්තක් නොවන බව දැනගන්නට ලැබේ.භික්ෂුන් වහන්සේත් රාජ්‍යය පාළකයනුත් අතර පවතින සම්බන්දතා සමීකරණය කුමණාකාරයේ එකක් දැයි නිශ්චය වන්නේ බලය නැමති පුමුඛ සාධකය විසින් බවත් බලයේ චර්යාව මත එය තීරණය වන බවත් එහිදී තිබෙන හොදම උදාහරණය බව ලියනගමගේ සූරීන් දක්වයි.(ලියනගමගේ,අමරදාස.P-77)   
              
    මෙම අදහස තුළින් පැහැදිළි වන කරුණක් නම් අතීතයේ භික්ෂුන් වහන්සේ සහ රාජ්‍යය අතර පැවති සම්බන්ධයේ පවතින ගැටළුකාරී තත්වයයි.එහිදී එයට ප්‍රධාන හේතුව වූයේ බලය යන සාධකය බව ලියනගම සූරීන්ගේ අදහස විය.නමුත් මෙහි සකච්ඡා කිරිමට යොමු වන්නේ 1948 පසු භික්ෂු දේශපාලනය සම්බන්දව වේ.නමුත් මෙකී කාලය සම්බන්දව තොරතුරු දැක්වීමට මත්තෙන් හැදින්වීම තුළ 1948  භික්ෂු දේශපාලනය තුළ සිදුවු විශේෂ අවස්ථා සම්බන්දව හා එකී බලපැම කෙරෙහි හේතු පිළිබද සාකච්ඡා කළ යුතුය.මැත කාළින ඉතිහාසය තුළ භික්ෂුන් දේශපාලනය කෙරෙහි සහභාගි වු ප්‍රධාන අවස්ථාවක් නම් 1956 බණ්ඩාරනායක මැතිතුමා බලයට ගෙන ඒමේ අවස්ථාවේදීය. එහිදි බණ්ඩාරනායක මහතා විසින් පළමු වරට ඉංග්‍රිසි පාලන ක්‍රමට එරෙහිව හඩක් නගන ලදි එහිදී පැවති සෙල්බරි පාලන හරහා තවදුරටත් ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බව ප්‍රකාශ කළ මෙතුමා එක්සත් බලකායක් ගොඩ නැගීය එය පංච මහා බලවේගය ලෙස සැලකින.නමුත් 1948 පෙර කාලයේත් භික්ෂුන් දේශපාලනයට සම්බන්දවූ බව සැබැය නමුත් බොහෝ බෞද්ධ රටවලට වඩා ලංකාව වෙනස් වේ.මන්ද තායිලන්තය,මියන්මාරය,කොරියානූ,ඉන්දියානු රටවල් බොහෝ විට බෞද්ධ රටවල් වූ අතර ලංකාව තුළවූ ආකාරයේ භික්ෂුන් හා දේශපාලනය,අන්තර් සම්බන්ධතාවයක් පැවතුන බවක් දක්නට නොලැබිණ.ඊට හේතුව ලෙස සැලකිය හැක්කේ ලංකාවට මිහිදු හිමියන් වැඩම කිරීමෙන් අනතුරුව ලංකාව තුළ සිදුකළ පළමු කාර්ය වුයේ දේශපාලන හස්ථය අගමානුකූල කිරිම වේ.එනම් රජු බෞද්ධ කිරිමයි.එය මුල්කොට ගෙනම ලංකාව  
   තුළ බුද්ධාගම ව්‍යාප්ත වූයේ දේශපාලන අනුග්‍රහය මතය.එය ලංකා සමාජය තුළ දිගින් දිගටම පැවතින එම නිසාම ලංකා රාජ්‍යෙය් සැබෑ උරුමකරුවන්  ලෙස ජනතාව තුළ අදහසක් ජනිතව පැවතියේ සිංහල කතාකරන බෞද්ධාගමික පිරිසට යන්න විස්වාසයක්,මතයක් මෙන්ම සංස්කෘතික වටපිටාවක් නිර්මාණය වී තිබුනි.
                           මෙලෙස ගත් විට 1948 පෙර ලංකාව තූළ ප්‍රධාන ලෙසටම භික්ෂු දේශපාලනය පැවති බව සැලකිය හැකිය.කෙසේ වෙතත් මෙකි කාල සීමාවෙන් පසු කාලය තුළ භික්ෂු දේශපාලනය හා එහි ගුණාගුණ සෙවීම කළ යුතුය.කෙසේ වෙතත් මෙම නිබන්දනය හරහා භික්ෂු දේශපාලනය යනු කුමක්ද,1948 සිට වර්තමානය දක්වා ඓතිහාසික විකාශන තුළ භික්ෂුව හා දේශපාලනය අතර වෙනස කවරේද,බෞද්ධ විනය ධර්ම තුළ භික්ෂුව හට දේශපාලනයේ නිරතවීම කැප හෝ අකැපද යන්න,මෙන්ම සැබෑ ලෙසටම භික්ෂුව දේශපාලනයට සම්බන්ද විය යුතු යන්න සහ භික්ෂු දේශපාලනය සම්බන්දව ජනතාවගේ අදහස්  තුළින් නිගමනයකට එළඹීම මෙහි සිදු කිරීමට බලාපොරොත්තු වෙති.


  භික්ෂු දේශපාලනය යනු කුමක්ද?
 
       ඇරිස්ටෝටල් වරක් ප්‍රකාශ කර සිටියේ තිරිසන් සතුන් සහ උම්මන්තකයින් (පිස්සන්) හැර සෙසු සියලු මිනිසුන් දේශපාලන සත්වයකු වන බවයි.එතුමා මෙහිදී තිරිසනුන් හා පිස්සන් ඉවත් කරනු ලැබුවේ ඔවුන්ට පරිකල්පන හැකියාවක් නොමති වීම නිසාය.මෙම තර්කයට අනුව පෘතිවි ගෝලයේ වසන සියලු මිනිසුන් දේශපාලනයට සම්බන්ද වන බවයි.මෙම අදහසේ සිට භික්ෂුව හා දේශපාලනය බැලු කළ දේශපාලනයට භික්ෂුව ස්වාභාවිකවම සම්බන්ද වේ.මන්ද මෙම ලෝකයේ සිටින සියලු මිනිසුන් රාජ්‍යය මෙන්ම අන්තර්රාජ්‍යය වශයෙන් සම්බන්ද වන අතරම එහිදි යමෙකු රාජ්‍යය හෝ අන්තර්රාජ්‍යය නීතිය පිළිගනු ලබන්නේද ඒ කෙරෙහිම ඔහු හෝ ඇය එරට දේශපාලනයට සම්බන්ද වෙන බැවිනි.නමුත් මෙහි අන්තර්ගත මාතෘකාවට අනුව සලකා බැලිය යුත්තේ භික්ෂුවගේ සෘජු දේශපාලන ක්‍රියාකාරිත්වයයි.එනම් භික්ෂු දේශපාලනය යනු රටක පවතින ආණඩුව හා එහි ක්‍රියාකාරිත්වය කෙරෙහි පක්ෂ විපක්ෂ මත ඉදිරිපත් කිරිම සහ එකී දේශපාලනයට සෘජුවම සම්බන්ද වෙමින් ක්‍රියාකිරිම භික්ෂු දේශපාලනය ලෙස හදුන්වනු ලබයි.මේ අනුව භික්ෂුවගේ ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් බව පෙනී යයි. එහිදී භික්ෂුව දේශපාලනයට සහභාගී වන ආකාරයන් ලංකා ඉතිහාසය ඇසුරෙන් කොතෙකුත් උදාහරණ සහිතව දක්නට ලැබේ.එහිදි පැහැදිළි වුන කරුණක් නම් මෙකි භික්ෂු දේශපාලනය හුදෙක් දක්නට ලැබෙන්නේ බොහෝ විට ජාතිකවාදී ස්වරූපයකිනි.දහනව වෙනි විසිවෙනි සියවස් ගත් විට එවකට ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදින් විසින් ලංකාව තුළ ඇති කිරිමට කටයුතු කළ ක්‍රිස්තියානි මිෂනාරි පාසල් හා ඒ හරහා ක්‍රිස්තියානි ධර්මය ව්‍යප්ත කිරිමට ගත් උත්සාහය නිසා එයට එරෙහිව ලංකාව තුළ ආගමික ජාතිකවාදි ව්‍යාපාර ඇතිවිය.එහි මූලිකත්වය ගනු ලැබුවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාය.එහිදී උන්වහන්සේලා පැවති යටත් විජිත පාලකයාට එරෙහිව සෘජුවම විරෝධය පෙන්වීය.නමුත් එහි පැවති අරමුණ පැහැදිලිය. එනම් ලංකාව තුළ ගෙනගිය බ්‍රිතාන්‍ය පාලනය සහ කතෝලික කරණයට එරෙහිවය.බෙහෝ රාජ්‍යය අස්තාවර  අවස්ථාවල එය නිසි අයුරින් සකස් කිරිමට කටයුතු කරණ ලද්දේ බෞද්ධ භික්ෂුව වේ.ජාතිය අවධි කරමින් ජනයා එක් පොදු අරමුණකට එකතු කිරිමට කටයුතු
     
        
          කළේද උන්වහන්සේලමය.වැලිවිට සරණංකර හිමි,හික්කඩුවේ ශ්‍රි සුමන්ගල හිමි, වලානේ ශ්‍රි සිද්ධාර්ත හිමි, ඇස්. මහින්ද හිමි‍්, මිගෙට්ටුවත්තේ ගුනානන්ද හිමි වැනි භික්ෂුන් වහන්සේලා ලංකාවේ බුද්ධ ශාසනය මෙන්ම ජාතිකත්වය ඉස්මතුවන ආකාරයේ පුනර්ජීවන ව්‍යාපාරයන් දියත් කරන ලදි.නමුත් මෙහිදි අභියෝග කරණ ලද්දේ රජයටය.එනම් බ්‍රිතාන්‍ය යටත් විජිතයටය.මෙහි පරමාර්ථ අතර රාජ්‍යය අධිරාජ්‍යවාදින්ගෙන් බේරා ගැනිම මුලික වේ.නමුත් පසු කාලීනව මෙකී තත්වය වෙනස් වී යයි.1948 -70 දශක වනතෙක් ඉහත සදහන් කළ තත්වයේ මූල බීජයන් දක්නට ලැබුනි.නමුත් ඉන් එහා මයිම තුළ භික්ෂු දේශපාලනය යම් ලෙසක වෙනස් ක්‍රියාකාරිත්වයකින් අනුන වෙයි එනම් භික්ෂුව තම ජාතික හැගීම පෙන්වන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසින් හදුන්වා දුන් ක්‍රමයට(දක්ෂීණාංශික) වෙනස් ක්‍රමයන් අනුගමනය කිරිමෙනි.එනම් වාමවාදි ව්‍යාපාරයන්ට සමිබන්ද වී ඒ ප්‍රතිපත්ති තම ජීවන ආදර්ශය කර ගැනීමෙනි.නමුත් මෙම තත්වය අනුව දශකයෙන් පසු වෙනස් වන අතර සෝව්යට් රුසියාවේ බිදවැටිමත්,ලංකා වාම දේශපාලනයේ සිදුවූ අස්ථාවර වීම් කරණකොට ගෙන ලංකා වාම ව්‍යාපාරය දුර්වල වේ.හින් අනතුරුව භික්ෂුව තම දේශපාලන කටයුතුවලට සෘජුවම සම්බන්ද වීමට උත්සහ ගනි.ඒ අනුව මැතිවරණ ක්‍රියාවලියකට යොමු වේ.වර්තමානය වන විට දේශපාලඥයින් තම දේශපාලනික වශයෙන් ජනතාව අතර ලකුණු දාගැනීමේ පරමාර්තයෙන් භික්ෂුන් සමග සම්බන්දතා පවත්වන ලද අතර ඒ හරහා ඇතම් දේශපාලන හස්ථයන්ගේ මැදිහත් වීම මත ජාතිවාදී හැගීම් ඇතිවන තත්වයන් ඇතිකරයි.



1948 සිට වර්තමානය දක්වා ඓතිහාසික විකාශන තුළ භික්ෂුව හා දේශපාලනය අතර වෙනස කවරේද?
                   ඈත අතීතයේ සිට ලංකාව තුළ බුද්ධාගම සහ රාජ්‍යය අතර ඉතා කිට්ටු සම්බන්ධයක් විය.එය එක් එක් අවස්ථාවල රාජ්‍යය සුභසිද්ධියට හේතු වුවා සේම රාජ්‍යය පිරිහිම කෙරෙහිද හේතු විය.මේ සදහා ඉතිහාසයේ කොතෙකුත් සාක්ෂි සාධක දක්නට ලැබේ.ලංකාවේ 48න් පසු රාජ්‍යය පාලනය සම්බන්ධ අභ්‍යන්තර පාලන බලතල ලාංකික පාලකයින්ට ලබා දුන්හ.මෙය ලංකා ඉතිහාසයේ එක් සංදිස්ථානයකි.ඒ තුළ ක්‍රමයෙන් ලංකාවේ  දේශපාලනික වෙනස්වීමක් දක්නට ලබුණ අතර වැඩි වශයෙන් ලංකික ජනතාව පාලනයට සම්බන්ධ වන්නට විය.නමුත් ආරම්භයේ ලාංකික පාලකයින් පැවති බ්‍රිතාන්‍ය පාලනය යටතේ වු සොල්බරි ව්‍යවස්ථාව යටතේ පාලනය කිරිමට කටයුතු කරන ලද අතර මෙය ලංකාව තුළ රැඩිකල් පාර්ශවය දැක්කේ තවදුරටත් බ්‍රිතාන්‍ය ගැති පිරිසක් ලෙසටය.එම නිසා ලංකාව තුළ මෙම රැඩිකල් පාර්ශවය ගැති බාවයට එරෙහිව ක්‍රියාකළහ. මෙහි මුලිකත්වය ගනු ලැබු එක් පාර්ශවයක් වුයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාය.උන්වහන්සේලා දේශියත්වය නගාසිටුවන්නටත් ,සිංහල ජාත්ය ආරක්ෂා කරන්නටත්,ලංකාවේ පැවති පෞඩත්වය ආරක්ෂා කිරිම සදහා නව රැඩිකල් ව්‍යාපාර නිර්මාණය කර ගත්හ.මෙයට හොදම නිදසුන නම්, 1952 S.W.R.D. බණ්ඩාරනායක මහතා පැවති එක්සත් ජාතික පක්ෂ රජයෙන් ඉවත්ව පැමිණ නව පක්ෂයක් පිහිටුවා ගැනීම සහ එය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලෙස නම් කරමින් 1956 මැතිවරණය සදහා එවකට රාජ්‍යය බලපෑම් කණ්ඩායම් ලෙස සිටි සග,වෙද,ගුරු,ගොවි,කම්කරු නම් පංච මහා බලවේගයක් ඇති කර ඒ හරහා බලයට ඒම දැක්විය හැකි අතර මෙහි සග’ යන්නෙන් අදහස් වන්නේ භික්ෂුන් වහන්සේලා වේ. ලංකා ඉතිහාසය මුළුල්ලේ සිටම දේශය ආරක්ෂා කරගැනීම කාර්යයට බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහභාගී වු අවස්ථා එමටය.එහිදී උන්වහන්සේලා රට විපතකින් ගලවා ගැනීම සදහා ඉදිරිපත්වුවා විනා බුදු සමයේ එන ධර්මයන් වෙනස් කරමින් දේශපාලන බලය ලබා ගනු විනා කටයුතු   ‍නොකරන ලදි.
    
      
      වල්පොල රාහුල හිමියන්ගේ “භික්ෂුවකගේ උරුමයනම් ග්‍රන්ථය 1946 ප්‍රකාශයට පත් කළ අතර මෙම රාහුල හිමිගේ ග්‍රන්ථය ඇතමුන්ට අනුව භික්ෂුන් වහන්සේලාට දේශානුරාගයෙන් යුක්තව රට සුරකිමේ ව්‍යාපාරයට සම්බන්ධ විම ධෛර්යමත් කිරිමට ලබාගත් අවස්ථාවක් ලෙසය.මෙහි තවත් ඉදිරි පියවරක් ලෙස 1946 විද්‍යාලංකාර පිරිවෙන භික්ෂුන් හා දේශපාලනය පිළිබදව විද්‍යාලංකාර ප්‍රකාශනය ඉදිරිපත් කළහ.මෙම ප්‍රකාශයෙන් මෙතෙක් විද්‍යාලංකාර පිරිවෙන මේ රටේ ගොවි කම්කරු පොදු ජනතාවගේ දියුණුව,යහපත හා නිදහස පිණිස මැතිවරණ ව්‍යාපාර,නිදහස් අධ්‍යාපන ව්‍යාපාර,කම්කරු,ලිපිකරු,මහා මැතිවරණ ව්‍යාපාර,සමාජවාදී ගිහි පැවදි දෙපක්ෂය තුළ අවබෝධයක් ඇතිකරලීමේ ප්‍රචාරක ව්‍යාපාර ආදී හැම දේශපාලන කටයුත්තකටම ඉදිරිපත් වී ක්‍රියා කිරිමට භික්ෂුන් වහන්සේලා කටයුතු කරන ලදි.  යක්කඩුවේ හිමියන් පැවසු අන්දමට මෙම ප්‍රකාශයෙන් මූලික වශයෙන් අපෙක්ෂා කරණ ලද්දේ,
 අපේ දුගී දුප්පත් අසරණ ගොවි කම්කරු ජනතාවගේ දියුණුව සහ යහපත පිණිස අපේ රටේ,අපේ ජාතියේ,අපේ ආගමේ,අපේ භාෂාවේ,අපේ සංස්කෘතියේ අපේ හැමදේකම යහපත හා සියුණුව කාටවත් වෙනස් කළ නොහැකි අන්දමට අපේ හිතේ හැටියට අප විසින්ම ඇති කර ගනු පිණිස.....අපේ පොදු ජනතාව ලේ නොහොල්වා කළ මහා විප්ලවයේදි පටන්ගත් ඒ උතුම් උදාර ව්‍යාපාරයයි.(බස්නායක,එච්.ටි,2005,289-290 )      
.    මෙහි මතුවන අදහසක් නම් මෙකල භික්ෂුන් ප්‍රධාන වශයෙන් දේශපාලනයට එළඹීම සිදු වන්නේ මෙකළ බවයි.එයට හේතුව විද්‍යාලංකාර පිරිවෙනේ මුලික ප්‍රකාශනය කෙරෙන් දිස් වෙන අතර එයට අනුව රටේ ජාතියේ ජනතාවගේ සුභ සිද්ධිය පිණිස භික්ෂුන් වහන්සේලා ලංකා දේශපාලනය කෙරෙහි නියලුන,සම්බන්ධව කටයුතු කළ බවයි.එයි පරමාර්ථ පැහැදිලිය.එහෙත් මෙයට පක්ෂ මෙන්ම විපක්ස අදහස් දක්නට ලැබුණ බව දක්නට ඇති අතර එහිදි දේශපාලන බලදරයන් මෙම රුඩිකල්වාදී භික්ෂු  දේශපාලන විවේචනය කළ බව සදහන් කර ඇත.එහිදි ඔවුන් තර්ක කර ඇත්තේ භික්ෂුන්ගේ පරමාර්ථය විය යුත්තේ ධර්මය හා විනය ආරක්ෂා කරමින් උතුම් නිර්වාණය


         ලබා ගැනීමට කටයුතු කරණු විනා වෙනත් ලෞකික කාරණාවන් තම කටයුත්තක් ලෙස ගෙන ක්‍රියා කිරිම නොවන බවයි.එසේම භික්ෂුන් වහන්සේලා සමිති සමාගම් නිර්මාණය කරගැනීම ඒවාට සම්බන්ධව කටයුතු කිරිම හා නිලතල දැරීම ආදි කටයුතු නිසා භික්ෂුන් වහන්සේලා වෙනස් වී ඇති බව සදහන් කර ඇත. එසේම මෙකළ ඩි.එස් සේනානයක මහතා විසින් මේ සම්බන්දව මතවාදයක් දක්වා ඇති අතර දැනට කෙරීගෙන යන භික්ෂුන් දේශපාලනයට සම්බන්ධ වීම සුදුසු යැයි කියාගෙන යන මේ ව්‍යාපාරය කොමියුනිස්ට් හා සමසමාජකාරයින්ගේ කපටි ක්‍රියාවන්ය.මෙයින් ප්‍රවේසම් වූයේ නැතිනම් බුද්ධ ශාසනයටත් මෙම පිරිවෙනටත් හානි විය හැකි බව මෙතුමා සදහන් කර ඇති බව මහාචාර්ය එච්.ටි.බස්නායක මහතා තම කෘතියෙහි දක්වා ඇත.
                 කෙසේ වුවත් මෙකළ භික්ෂු දේශපාලනය කෙතෙකුත් විවේචනයට භාජනය වුවද,වලකනු වස් විවිධ කණ්ඩායම් කළ විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබිණද,භික්ෂුන් ගත් ක්‍රියා මාර්ග අත්නොහරින ලදි.මෙකළ බොහෝ ව්ට භික්ෂු දේශපාලනය කෙරෙහි විවේචන එල්ල වුයේ සමාජවාදි භික්ෂුයන ලේබලයෙනි.මෙකී තත්වය අනූව දශකය දක්වා පැවතින.සෝවියට් රුසියාවේ සමාජවාදී ව්‍යාප්තවාදයත් සමග එය ලෝකයේ අනෙකුත් රටවල් කෙරෙහිද ව්‍යාප්ත විය.එකී බලපැම ලංකාව වෙත එල්ල වූ අතර ලංකාවේ සමාජවාදී ව්‍යාපාර ආරම්භ විය.මෙරට බොහෝ දේශපානඥයින්ගේ අදහස වුයේ භික්ෂුන් දේශපාලනයට සම්බන්ද වුයේ මෙකී සමාජවාදී ව්‍යාපාරය තුළින් බවයි.නමුත් භික්ෂුන් දේශපාලනයට සම්බන්ද වීම මෙම ව්‍යාපාරය තුළීන්ම වූ බව පිළිගත නොහැක.නමුත් සමාජවාදී මතවාද තුළින් බටහිර අධිරාජ්‍යවාදීන් ලංකාව තුළ නිර්මාණය කළ ලිබරල්වාදී දේශපාලන ප්‍රතිපත්තියට ප්‍රතිවිරුද්ද ප්‍රතිපත්තියක් වූ සමාජවාදී බලපෑම ලංකාවට හිමිවීමත් සමගම උගත් බොහෝ පිරිස් මෙය වටා එක්රොක් විය.ඊට හේතුව වුයේ බ්‍රිතාන්‍යයින්ට ගරුකළ ලංක්දිව කළු සුද්ධන් ඔවුන්ට උපහාර ලෙස ඔවුන්ගේ පාලනය පවත්වා ගෙන ගියා මිස එය ලක්දිවට ගැලපෙන ලෙස එය නිර්මාණය නොකරන ලදි.එම නිසාම බොහෝ උගත්,බුද්ධිමත් ජනයා ස්දේශියත්වය ගරු කළ පාලන ක්‍රමයක් කෙරෙහි විස්වාසය තැබීය.එය සමාජවාදි අදහස් වලට මිනිසුන් එළඹීම කෙරෙහි හේතුවක් විය.කෙසේ වෙතත් මෙහිදී භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකාරීත්වය


     අනෙක් පාර්ශවයන්ට වඩා දක්නට ලැබුණි.මෙහි තවත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැක්කේ 1956 බණ්ඩාරනායක මහතාගේ ක්‍රියාකාරීත්වය ආශ්‍රයෙනි.එතුමා විසින්  නිර්මාණය කරන ලද ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හරහා භික්ෂු ව්‍යාපාරවලට ද නිදහස් පක්ෂය සමග සම්බන්දව කටයුතු කළ හැකි විය.එනම් පංච මහා බලවේගයේ ප්‍රධාන භූමිකාව භික්ෂුවට හිමි විය‍.එය සමන් හදරාගම මහතා විසින් රචනා කරන ලද දේශපාලන සමාජවිද්‍යාව-2 නම් ග්‍රන්තයේ දක්වා ඇති පරිදි 56 මැතිවරණයේදී භික්ෂුන් ක්‍රියා කර ඇත්තේ දුෂ්ටයා එක්සත් ජාතික පක්ෂය වූ අතර ධාර්මිෂ්ඨයා මහජන එක්සත් පෙරමුණ ලෙස සළකා ක්‍රියාකර ඇත‍.එය තවදුරටත් පැහැදිළි කරන එතුමන් දක්වන්නේ Wrggins W.Hoard විසින් රචිත Ceylon: Dilemmas of a New Nation නම් පොතෙහි දක්වා ඇති
     මැතිවරණයට සති තුන හතරකට පෙරාතුව ගම්බද හා පළාත්බද විශේෂයෙන්ම මධ්‍යම,සබරගමු,පළාත්වල හා බස්නාහිර පළාතේ අභ්‍යන්තරයේ පිහිටි ජන්ද කොට්ඨාස්වල භික්ෂුහූ ප්‍රසිද්ධියේම ජන්ද කටයුතු කළහ.දිප්තිමත් කහ සිවුරු පොරවාගෙන මගදිගේ ගමන් කරනවාත් ගෙයින් ගෙට ගොස් ගිහියන් හමුවෙනවාත් දකින්නට ලැබුණි.කහ සිවුරු ඇදගත් භික්ෂුන්ගෙන් පිරුණු මහජන එක්සත් පෙරමුණ නිල් කොඩියෙන් සැරසුණු රථවාහන හැම තැනකදීම දකින්නට ලැබුණි.
මෙලෙස මෙකළ පාක්ෂික අයුරින් දේශපාලනය සදහා භික්ෂුන් මැදිහත්ව කටයුතු කළ ආකාරය පැහැදිළි වේ.එමෙන්ම බණ්ඩාරනායක මහතා බලයට පත් වීමත් සමග නව ප්‍රතිසංස්කරණ කිහිපයක් ඇතිකරණ ලද අතර ඒ අතර වැදගත් තැනක් සිංහල භාෂාව රාජ්‍යය භාෂාව කිරිමදැක්විය හැකිය.මේ සදහාද භික්ෂුන් මුළිකත්වය ගත් බව ප්‍රකාශ කරයි.එහෙත් බණ්ඩාරනායක මහතාගේ ධුරයේ අවසාන අවධිය වන විට යම් ලෙසක පිරිහිමක් තිබු බව සැලකේ.එසේම මොහු  ඝාතනය කිරිම කෙරෙහි ක්‍රියාකරනු ලැබුවේ බෞද්ධ භික්ෂු නමක් වූ තල් දූවේ සෝමාරාම හිමි බව සදහන් කරයි.මින් අනතුරුව සිරිමා බණ්ඩාරනායක මහත්මිය කාලයේ නැවතත් භික්ෂුන් දේශපාලනය කෙරෙහි ඇදී ආහ එහිදී තල්පාවිල ශීලවංශ,දැවමොට්ටාවේ අමරවංශ,හේන්පිටගෙදර ඥානසීහ සහ කොටගම වාවිස්සර හිමිවරු වැනි හිමිවරු තම පූර්ණ සහයෝගය දැක්වීය.                  

        ප්‍රධාන වශයෙන්ම මෙකළ මෙම භික්ෂූන් වහන්සේලා දේශපාලනය කෙරෙහි යොමු වන්නේ ප්‍රධාන වශයෙන්ම බෞද්ධ ආගම නගා සිටුවීම සදහාත් සිංහල බෞද්ධ ජාතිය ගොඩනැගීම සදහාත් ය. මෙම අතර සමාජවාදී අදහස් දරන හිමිවරු ද සිටින ලදි.එය පැහැදිළි වූ අවස්ථාවක් වුයේ සිංහල භාෂාව රාජ්‍යය භාෂාව වීමත් සමගය.එමෙන්ම මෙහිදි පැහැදිළි දක්නට ලැබුනු වෙනස නම් භික්ෂුව දේශපාලනයට මැදිහත් වුවත් තනතුරු තානාන්තර කෙරෙහි තිබු අවම දායකත්වයයි.එනම් භික්ෂු දේශපාලනය තුළ භික්ෂුව දේශපාලන සංස්ථාවන්ට හෝ දේශපාලනඥයින්ට බලපැම් කළා මිස  කෙදිනකවත් ජන්ද බලය හෝ වෙනයම් ක්‍රමයක් මගින් දේශපාලන බලදරයෙකුගේ තත්වය අපේක්ෂා නොකරන ලදි.එය පැහැදිළි වන අවස්ථාවක් නම් සිර කූඩුවක් තුළ සිටියදී නම් ග්‍රන්ථය රචනා කළ රාජකීය පණ්ඩිත හේන්පිට ගෙදර ඤාණසීහ නාහිමි විසින් තම ග්‍රන්ථයෙහි දක්වා ඇති ආකාරයට රටක සේවය කරණු පිණිස උගත් භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග භික්ෂුත්වය ප්‍රතික්ෂේප කර අනගාරික හමුදාවක් බිහිකළ යුතු බව තමන් වහන්සේට වරක් සිතුන බව දක්වා තිබුණි.එහි එය කවරක් සදහාද යන්න දක්වා තිබුණි අතර එහි,කිසිම ප්‍රයොජනවත් වැඩක නොයෙදී තමන්ගේ වටිනා ජීවිතය නිෂ්ඵල ලෙස ගත කිරිම හොද අදහසක් ලෙස නොසිතන්නේ තරුණ භික්ෂුන් වහන්සේලා ගැන මාතුළ ඇති බලවත් නොඉවසිල්ල නිසා බව දක්වන උන්වහන්සේ එබදු ව්‍යාපාරයන් පණගැන්වීම සදහා පුරෝගාමීත්වයක් ගන්නට සතුටු මගේ වයසේ සිටින වෙනත් ස්ථවිරයන් වහන්සේ නමක් ගැනද මට සිතන්නට බැරි නිසා මම ඒ පිණස කැප වුනෙමි.මේ තුළ ගැබ්වෙන අදහසක් නම් උන්වහන්සේට අවශ්‍ය වුයේ තමන්ගේ නිෂ්ඵලවු ජීවිතය නිකරුනේ අපතේ හැරීමට වඩා රට ජාතිය උදෙසා දේශපාලනය කෙරෙහි සම්බන්ද වීමයි.නමුත් කෙදිනක හෝ දේශපාලඥයික්, ආමාත්‍යවරයෙක්, ජනාධිපතිවරයෙක්,අගමැතිවරයෙක් විමට කිසිදු අපේක්ෂාවක් නොවු බව වෙනත් ස්ථවිරයන් වහන්සේ නමක් ගැනද මට සිතන්නට බැරි නිසා තමන් ඒ පිණිස කැප වුනෙමියන අදහස තුළින්ම පැහැදිළි වේ.එහෙත් මෙකී තත්වය විසිවන සියවසේ අග සහ විසිඑක් වන සියවස වන විට වෙනස් වේ මෙරට ආගම හා දේශපාලනය අතර තිබූ සම්බන්දතාවයේ භික්ෂු දේශපාලනය තුළ පැවති සුවිශේෂි තත්වයක් වූයේ ආරම්භයේ
 

    සිටම ප්‍රබල දක්ෂිණාංශික පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය සමග හා එහි ප්‍රතිපත්තිය අතර පැවති ගැටලුකාරී තත්වයයි.බෙහෝ විට භික්ෂුන් වහන්සේලා වාමාංශික අදහස් දරන ලද අතර බොහෝ විට 1965 බිහිවූ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය වටා එකතු විය.එමෙන්ම 1971 මෙන්ම 1988-1989 සිදුවු කැරළි අවස්ථාවන් වලදී පවා විශාල කාර්යභාරයක් ඉටු කරන ලද්දේ භික්ෂුන් විසිනි.මේ තුළ දේශප්‍රේමී භික්ෂු සංවිධානය, මානව හිතවාදී භික්ෂු සංවිධානය,සමස්ථ ලංකා භික්ෂු සංවිධානය සහ අන්තර විශ්වවිද්‍යාල භීක්ෂු බල මණ්ඩලය නම් විශා භික්ෂු සංවිධාන ජාලයක් විය.ඒහරහා උත්ඝෝෂන, වැඩවර්ජන, විරෝධතා,පෙළපාලි ආදී නොයෙකුත් ආකාරයේ ව්‍යාපාරයන් අණ්ඩුවේ ක්‍රියාකාරිත්වයට එරෙහිව ගෙන යන ලදි.නමුත් සැබැ ලෙසටම මෙම කාලය වන විට භික්ෂු ක්‍රියාකාරිත්වය තව තවත් ක්‍රියාකාරි වෙමින් තිබුණි.නමුත් වර්තමාණය වන විට එම තත්වය වෙනස් වී යයි.
              එහිදී බෞද්ධ භික්ෂුව පෙර දේශපාලනයට සම්බන්ධව සිටියද මේ වනවිට භීක්ෂුව ඉන් ඔබ්බට ගෙස් ඇත එනම් බෞද්ධ භික්ෂුව මැතිවරණ දාමයට සම්බන්ද වී ඇත.ජනතා නියෝජිතයෙකු ලෙස බලයට ඒමටත් ඒ හරහා තම දේශපාන කාර්ය ඉටු කිරිමට භික්ෂුව උත්සහ ගනි.නමුත් මෙම තත්වය යම් ලෙසක වෙනස් ආකාරයක් වේ.එය මහත් ආන්දෝලනයකට භාජනය වූ දෙයක් වූ අතර පලමුව පළාත් සභා වන්ට ඉදිරිපත් ව භික්ෂුන් මන්ත්‍රිවරු ලෙස පත් වූහ.උඩවත්තේ නන්ද හිමි මෙලෙස පත්වූ මහනුවර නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු විය.එමෙන්ම ලංකාවේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වුයේ බද්දේගම සමිත හිමියන් ය.  එමෙන්ම විවිධ දේශපාලන පක්ෂ නිර්මාණය කරගනිමින් භික්ෂුන් මැතිවරණ දාමයට සම්බන්ධ විය.එයට හොදම නිදසුන ලෙස ජාතික හෙළ උරුමය දැක්විය හැකිය.වර්තමාණය වන විට භීක්ෂු දේශපාලනය තවත් වර්ධනය වී ඇති අතර එහිදි වඩා අන්තගාමී සංවිධාන නිර්මාණයව ඇත.එහිදී රාවනා බලය සංවිධානය,බොදු බල සේනාව,එක්සත් භික්ෂු ව්‍යාපාර නිර්මාණයව ඇත.එම සංවිධානයන් සෘජුවම දේශපාලනය කෙරෙහි සම්බන්ධ වූ අතරම වඩා ජාතිවාදී විය.එය යම් අවස්ථා වල විවිධ ජාතික අරගල නිර්මාණය කරන්නටත් ජාතින් අතර එක්සත් බව නැතිකිරිම සදහා හේතු වී ඇත.
              
  
බෞද්ධ විනය ධර්ම තුළ භික්ෂුව හට දේශපාලනයේ නිරතවීම කැප හෝ අකැපද

            දේශපාලනය තුළ භික්ෂුවගේ භූමිකාව කුමන අයුරකින් විය යුතුද,එහිදි අනුගමනය කරන්නේ කුමන සිද්ධාන්තද යන්න පිළිබද භික්ෂුන් අතර ඒකමතිකත්වය තිබේද,බෞද්ධ භික්ෂුව දේශපාලනයේ නිරත විය යුතුද,යන්න පිළීබද ලංකා සමාජයේ අතිතයේ සිටම පැවති ප්‍රබල කතාබහකි.එහරහා විවිධ මතවාද,සාකච්ජා ඇතිවිය එහෙත් තිරසාර විසදුමක් නොවීය.බුදුරජානන් වහන්සේ උතුම් වූ බුද්ධත්වයට පත් වූ පසු සියලූ සත්වයන්ගේ හිතසුව පිණිස ,ලෝකයට වැඩ පිණිස,සියලු සතන්ට ලොකෝත්තර සැපත උදෙසා පොදු අරමුණක් කෙරෙහි යොමු කරණ ලදි.එවන් උත්තරීතර ආගමක් වූ බුදු දහම තුළ භික්ෂු දේශපාලනය භික්ෂුවකට නෙමනා ක්‍රියාවක් ද යන ප්‍රශ්නය දහසකුත් ජනහදවත් තුළ ජනිතවේ.මිහිදු හිමියන් ලංකාව තුළ බුදු දහම ව්‍යාප්ත කිරිමත් සමග ලංකාව බෞද්ධ රාජ්‍යයක් බවට පත් වේ ඒත් සමග ලංකාව තුළ බෞද්ධ භික්ෂුව රටේ අනාගතය විය,උන්වහන්සේලාගේ ආශිර්වාදය දේව ආශිර්වදය විය,උන්වහන්සේලාගේ ඔවදන් ජිවිත ආදර්ශය විය.එම නිසාම බෞද්ධ භික්ෂුව දේශපාලනයට මැදිහත් වීම රටේ සෞභාග්‍යයක් විය යන්න පැරණි රාජ්‍යය සංස්ථාව තුළ නිර්මාණය වී තිබු දේශපාලන සමාජ දෘෂ්ටිය විය.
          මෙකි තත්වයේ බරපතල කම තේරුම් ගත් පළමු ජාතිය බ්‍රිතාන්‍යයොය.එම නිසාම ලකාව තුළ වූ මෙකී සම්බන්දය විනාශ කරන ලදි.ඒ හරහා ලංකාව තුළ ජාතික ගැටුමක් නිර්මාණය කරණ ලදි.වාර්ගිකයින් අතර විරසකයක් ඇති කර ගන්නා ලදි.එය තුළින් ලැබු නිදහසත් වර්ගවාදි නිදහසක් විය.එම නිසාම එකිනෙක වර්ග අතර කිසිදු සාමකාමිත්වයක් නොවිය.මෙබදු ක්‍රමයක් දේශපාලන සමාජ ආදර්ශය වූ මෙකළ නිර්මාණය වූ භික්ෂු දේශපාලනයත් ඒක පාක්ෂික විය.එනම් සිංහල බෞද්ධ පදනමයි.මෙය වර්තමානයේද දක්නට ඇති ගැටලුවකි.එම නිසාම භික්ෂුව පක්ෂග්‍රාහි යන්න ඇතමුන් විවේචනය කරයි.වර්තමානය වනවිට තම දේශපාලන කටයුතු තව දුරටත් වර්ධනය කරගත් භීක්ෂුන් දේශපාලඥය,මන්ත්‍රීවරු විම කෙරෙහි අවදානය යොමු කරන ලදි.එය යම් දුරකට බුදු දහම තුළ ඇති ධර්මතා වෙනස් කිරිමක් ලෙස බොහෝ උගතුන් පෙන්වා දේ නමුත් මෙහි සිදුවූ සැබැව නම් දේශපාලන වශයෙන් බලපැම් සහගත කණ්ඩායමකගේ බලලෝභි


    ආශාවන් මුදුන් පමුණුවා ගැනීම සදහා ආගම යොදා ගන්නා ආකාරයයි.ලංකාව තුළද සිදුවුයේ බලකාමි පිරිස් තම බලය වර්ධනය කරගනු සදහාත්,තම අවශ්‍යතාව ඉටුකර ගැනීම සදහාත් රාජ්‍යය ප්‍රතිසංස්කරණයන් ඔස්සේ බුද්ධාගමට ප්‍රමුඛතාව ලබා දේන ලදි.නිදසුන් ලෙස 1989 දී බුද්ධ ශාසන අමාත්‍යංශයක් පිහිටුවීම දැක්විය හැකිය.එස්.ඩබ්ලිවි.ආර්.ඩි බණ්ඩාරනායක මහතා භික්ෂු අයිතිවාසිකම් පරිපුර්ණ කිරිමට ගත් මග වර්තමානය දක්වාම දක්නට ලැබේ.එමෙන්ම බෞද්ධ ආගමික වැදගත්කමක් ඇති දිනයන් නිවාඩු දිනයන් බවට පත්කිරිම රාජ්‍යය මට්ටමෙන් බෞද්ධ ග්‍රන්ථ මුද්‍රණය කිරිම හා ප්‍රචාරනය කිරිම,සොල්බරි ව්‍යවස්ථාව හරහා සුළු ජන අයිතිවාසිකම් ආරක්ෂා කිරිමට තිබූ 29(2) වගන්තිය අහෝසි කිරිම,1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සිංහල රාජ්‍යය භාෂා පනත ව්‍යවස්ථාවේ කොටසක් බවට පත්කිරිම,1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට පුමුඛතාව දෙන වගන්ති ඇතුලත් කිරිම හා පාර්ලිමේන්තුව තුළ බෞද්ධාගමිකයින්ට හිතකර ලෙස නිර්මාණය කිරීම යන කරුණු කාරණා භික්ෂු දේශපාලනය හරහා රාජ්‍යය සංස්ථාව තුළ නිර්මාණය වූ දේවල් වේ.බෞද්ධාගමිකයෙකු වශයෙන් මා ඊට ස්තූතිය පුදකරන අතරම ඔවුන්ට කාරුණික වෙම්.එහෙත් මෙහි යම් ගැටලුවක් පවති.ඉහත දැක්වූ කාරණා සියල්ල රාජ්‍යය සංස්ථාව තුළින් නිර්මාණය කරගනු ලැබුවකි.නමුත් එහි බලපැමි කිහිපයකි. එනම් පළමු වැදගත් කරුන නම් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ලංකාව තුළ සිදු කළ ජාතිවාදිත්වය අවදිකිරිමකි.ඓතිහාසික ලංකාව එවැනි වාර්ගික ගැටුමක් නොවූ අතර රජු සියලු ආගම් වලට තම අනුග්‍රහය ලබාදෙන ලදි.නමුත් වර්තමානය වන විට මෙම තත්වය වෙනස් වී ඇති අතර දේශපාලන නායකයින් වර්ධනය වෙමින් පැවති භික්ෂු දේශපාලනය ප්‍රයෝජනයට ගනිමින් තම වාසිය ලබාගත්හ. 1956 බණ්ඩාරනායක මහතා බලයට ඒමේ අවස්ථාවේ එතුමා භික්ෂුන් වහන්සේලා දේශපාලන ව්‍යාපාරයට සම්බන්ද කර ගත්හ.එය හුදෙක් භික්ෂුන් වහන්සේලා කෙරෙහි පැවති ගෞරවයට වඩා තම දේශපාලන අවශ්‍යතාවය පෙරදැරි කරගෙනය.නමුත් අනෙක් පස බ්‍රිතාන්‍යයින් වාර්ගික විසමගියක් පවත්වා ගෙන ගියේ  එතුළින් කිසි දිනක ජාතින් එකමුතුව අරගලයක් දියත් නොවන බව දැන සහ එය තම පාලනය ශක්තිය රදා පවත්වන්නක් වූ බැවිනි.නමුත් නිදහස ගත් පසුවත් සිදුවූයේ එකම ක්‍රියාවලිය වේ.එනම් වාර්ගික විසමගිය ලක්රජය තුළීන්ම පවත්වා ගෙන යෑමයි.එක්සත්


ජාතික පක්ෂ රජය මෙය ඉදිරියට පවත්වා ගෙන ගිය අතර බ්‍රිතාන්‍ය ක්‍රමයට පක්ෂපාතී විය.එම නිසාම භික්ෂුන් වහන්සේලා බොහෝ විට සමාජවාදි මතවාද කෙරෙහි යොමු වූ අතරම එක්සත් රජක් ඇතිකිරිමට ජිවිතය පවා කැප කරන ලදි. සමාජවාදී මතවාදයන් දරන ලද එම ව්‍යාපාරයන්ට සම්බන්ද වූ භික්ෂුවක් වූ රාජකීය පණ්ඩිත හේන්පිට ගෙදර ඤාණසීහ නාහිමී දක්වන අදහසක් නම් මිනිසාගේ ක්‍රියාව අඩු ගනනේ මිනිසාට හෝ සේවය පිණිස යෙදවිය යුතුය.උත්කෘෂ්ඨ පුද්ගලයෝ ඒ සීමාව තිරිසන් සතුන් තෙක් දීර්ඝ කළහ.ඒ සේවය කුමක් පිණිසද,පළමුකොට ඔවුන් මෙලොව සමකාමී නිදුක් ජිවිතයක් ගතකීරිම පිණිසය.දෙවණුව මරණීන් පසු ලැබෙන ජිවිතවක් වීමය පිණීසය.තෙවනුව මේ අවසානයක් දැකිය නොහැකි සසර සැරිසැරිම අවසන් කරනු පිණීසය.යන අදහස ගැබ්වී තිබුණී.මෙහි මෙතුමා ජිවිතයේ අවස්ථා තුනක් පිළිබද කතා කරයි. එනම් පළමු කරුණ නම්  මිනිසාගේ ක්‍රියාව අඩුගණනේ මිනිසාට වත් සේවය පිණිස විය යුතුබව,දෙවනුව මරණින් පසු ජිවිතයක් පිණිසය,තුන්වනුව සසර ගමන අවසන් කර දැමිමය. වශයෙන් දක්වයි ඒතුළින් ග්‍රම්‍ය කරන්නෙ ඕනෑම පුද්ගලයෙකු තම වර්ගයාට සේවය කළ යුතු බවත් ඇතමුන් එය තිරිසන් සතුන් දක්වා දිර්ඝ කළ බව දක්වයි ඒ තුළ උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ භීක්ෂු දේශපාලනය භීක්ෂුවගේ කාර්යභාරයක් බවයි.කෙසේ වෙතත් ලංකාවේ භික්ෂු දේශපාලනයේ ඉහත පෙන්වා දුන් අඩුපාඩුව වන වාර්ගික විසමගියක් කෙරෙහි හේතුවන කාරනය.
    දෙවන කරුණ කෙරෙහි අවදානය යොමු කරන්නේ නම් බුදු දහම යනු අහිංසාවාදි,ලෞඛිකත්වය බැහැර කර ලෝකෝත්තර සැපත උදාකර ගැනීමට කැපවුකි.එහිදී භික්ෂුව යනු බුදු දහමේ කොදු නාරටිය වන අතර එය ශක්තිමත්ව පැවතිය යුතු අතරම බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් විනයත් රුකගනිමින් උත්තරිතර නිවන් සැප අවබෝද කරගත යුතුවේ.නමුත් සැභැලෙසම වර්තමාණ භික්ෂුවගෙන් පවා එවැනි අපේක්ෂාවක් පවතිද යන්න සැක පහල වනු ඇත.නමුත් මෙකී කාරණය සමස්ථ භික්ෂු ප්‍රජාවටද අදාළ නොවන අතරම දේශපාලන කාර්යන් වල නිරත වෙමින් ධනය බලය ලබා ගැනීමේ අරමුණු සහිතව භික්ෂු දේශපාලනයේ නිරතවන බොහෝ භික්ෂුන් වහන්සේලා අද කෙතෙකුත් සිටිනු ඇත.

  එසේනම් වර්තමාන භික්ෂුන් වහන්සේලා තුළීන් දේශපාලනයට සම්බන්දව ආර්ථීකය ශක්තිමත් කර ගන්නා භික්ෂුන් වහන්සේලා සිටියි.ඒතුල ග්‍රම්‍යවන කරුනක් නම් භික්සු දේශපාලනය යනු භික්ෂුවගේ ලොකෝත්තර සැපයට හානි කරන සහ ලභ ලැබීමේ පරමාර්ථ කොට ගත් පිරිසකගේ කාර්යභාරයක් වී ඇතිබවයි.අද වන විට ඇතම් භික්ෂුන්ගේ ක්‍රියාකළාපයන් භීක්ෂුත්වය කෙළසන ආකාරයේ වේ . එමෙන්ම අද ඇතම් භික්ෂුන සතු ලෞඛික සම්පත් ප්‍රමාණය ගත්කල එය සාමාන්‍ය මින්සුන් සතු ප්‍රමාණයටත් වඩා වැඩිය.ඒ පැහැදිළිවන කරුනක් නම් භීකෂු දේශපාලනය හරහා නුතන ධනවාදී ක්‍රමයන්හී වර්ධනයත් සමග සිදුවූ දේශපාලන පෙරලිය භික්ෂු දේශපාලනය කෙරෙහි බලපා ඇති බවයි.
            මෙහි භික්ෂු දේශපාලනය සම්බන්ධව දේශපාලන කතිකාවත් කිහිපයක් සොයා බලයි.එහිදී හම්බන්තොට දිස්ත්‍රිකයේ බැරගම පදිංචි ධනුක මහතාගේ අදහස් විමසා බැලුවේය. එහිදි එතුමා ප්‍රකාශ කලේ භික්ෂුව දේශපාලන කටයුතු වලට සම්බන්ද විම,රාජ්‍යය කටයුතු සම්බන්ධයෙන් රාජ්‍යය අනුශාසකත්වයට පමණක් සීමා විය යුතු බවයි.එසේම වර්තමාන ඇතම් ක්‍රියාවන් භික්ෂූවකට සුදුසු නොවන බවත් එහිදී වාර්ගික හැගීම් උත්දීපනය වන ආකාරයේ ක්‍රියා නොකල යුතු බව ප්‍රකාශ කරයි.එමෙන්ම එම ප්‍රදේශයේ සෝමරත්න මහතාගේ අදහස වූයේ භික්ෂු දේශපාලනය හොද බවත් එය සමාජ සංවර්ධනයටත්,රටේ සංවර්ධනයට හේතු වන බව එමෙන්ම තවදුරටත් මේ රට සිංහල බෞද්ධ රටක් වන බවත් ඈත අතිතයේ සිටම භික්ෂුන් වහන්සේලා රාජ්‍යය සුභ සිද්ධීය උදේසා කටයුතු කළ බවත් ඉදිරියටත් උන්වහන්සේලාගේ මැදිහත් වීම කාරුණීක ඉල්ලා සිටින බවත් සදහන් කළේය.එහිදී එතුමාගෙන් පැනයක් අසනු ලැබින අතර එහි සදහන් වූයේ වර්තමානයේ පවතින බොදු බල සේනාවේ ක්‍රියාකළාපය රටට ගැළපේද නැද්ද යන්න වේ .එහිදී මෙතුමාගේ අදහස වූයේ ඇත්තෙන්ම බොදු බල සේනාව සංවිධානය ඇත්තෙ.න්ම රටට වටිනවා දැන් බලන්න ලංකාවේ උන්වහන්සේලා අපේ සිංහල බෞද්ධ සහජිවනය නගාසිටුවිමට ගත් උත්සාහය නැතිනම් අද අපිට මේ රට සිංහල බෞද්ධ රටක් කියලා කටඇරලා කියන්න පුළුවන්ද මහත්තයෝ බැනේ...ආදී ලෙස දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරන ලදි.
නිගමනය     

    භීක්ෂු දේශපාලනය යන මැයින් තෙරතුරු සකස්කළ මෙහි අත්‍යන්ත කරුනකාරනා සොයා ගත හැකි විය එහිදී ඓතිහාසික වශයෙන් පවතින භික්ෂු දේශපාලනයේ ස්වභාවය පිළිබද මෙන්ම එහි අහිතකර සහ එහි අත්‍යවශයතාවන් පිළිබදව තොරතුරු ඇතුළත් විය.ලංකාව තුළ ලෝක ඉතිහාසය ගත්කළත් වෙනස්ම සැකැස්මක් මේ තුළ දක්නට ලැබුණි.එනම් බෞද්ධ පදනම මත බිහිවූ රාජ්‍යය ක්‍රමයයි. කෙසේ වෙතත් මෙකි තත්වය යටතේ බෞද්ධ භික්ෂුව ලංකාවේ ඉතා සුවිශෙෂී චරිතයක් බවට පත් විය.එම නිසාම බෞද්ධ භීක්ෂුව වන්දනීය තත්වයකට පත්විය.එමෙන්ම ලංකා රාජ්‍යයේ මුර දේවතාව විය.උන්වහන්සේලා රාජ්‍යය පාලනයේදී රජුට පක්ෂපාති වූවා මෙන්ම රජුට අවවාද අනුශාසනා කරමින් රජු යහමගට ගනු ලැබීය.
               ලෝකයේ ආර්ථික ක්‍රමය වෙනස් විමත් සමග මින්සුන් වානිජවාදී ආර්ථිකයෙන් කාර්මික ධනවාදි යුගයටත් ඉන් පසු පරිභෝජනවාදී ආර්ථීක ක්‍රමයකටත් පරිවර්ථනය විය.එය වර්තමානය වන විට නූතන ධනවාදි ක්‍රමය දක්වා වර්ධනය  විය.ලෝකයේ ආර්ථික ක්‍රමය වෙනස්වීම සෑම සමාජයකටම,දේශපාලන සංස්ථාවකටම මෙන්ම නව සංස්කෘතියක් උරුම කිරීමටද සමත් විය.එය නවීන සමාජ නිර්මානය වනවිට මිනිස් ආශාවන් අවශ්‍යතාවන් එත් සමග වර්ධනය වු අතර මිනිසුන් සමාජ මට්ටම පවා වෙනස් විය.ධනවාදය තුළ පැවති ආර්ථීක දර්ශනය මිනිසා ආත්මාර්තයටත් ඒහරහා ලාභ ඉපයිමේ ආනයන ,අපනයන ,පරිභෝජන ක්‍රමයක් ඇතිකරන ලදි.එය මිනිස් මනස විකෘර්ති කිරිමටත් පුද්ගල සම්බන්දතා දුර්වල කිරිමටත් හේතු විය.මෙවැනි වටපිටාවක් තුළ භික්ෂුන් වහන්සේලා දේශපාලන මගට පිවිස දේශපාලන ක්‍රමයේ පැවති දුර්වලතා පිළිබද මෙන්ම දුර්වල වූ සමාජ සම්බන්දතාවයක් අලුත් කිරිමටත් පියවර ගනු ලැබුණි,පිරිත් සජ්ජායනා පැවැත්වීම,බෝධී පුජා පැවැත්වීම,කඨින පිංකම් සිදු කිරිම,වෙසක් උත්සව,පොසොන් උත්සව මෙන්ම විවිධ පින්කම් සිදු කරමින් පුද්ගල සහයෝගයක් ඇති කිරිමට කටයුතු කරන ලදි.එය දේශපාලන ක්‍රියාවලිය තුළද සිදු කරන ලද අතර සැමට ආදර්ශයක් වෙමින් කටයුතු කරන ලදි. නමුත් සැබැ ලෙසම ඉහත


    මාතෘකා හරහා කතා කළ අදහස් ගත් කළ භික්ෂුව නිරන්තරයෙන් දේශපාලනයේ නොමද දායකත්වයක් දක්වා ඇත‍.නමුත් වර්තමානය වන විට මෙම තත්වය වෙනස් වී ඇත.පෙර භීක්ෂුව රාජ්‍යය පාලනයට සම්බන්ද වූයේ සම්ප්‍රදායක ස්වරෑපයකිනි .එනම් රාජ්‍යය අනුශාසක,අනු නායක ආදි ධුරයන්ය. නමුත් වර්තමානයේදි එය පසෙකට දමා දේශපාලන සෘජු දායකත්වයක් සපයයි එය මන්ත්‍රීධුර,අමාත්‍යධුර ලබාගැනිම තුළික් පැහැදළි වේ.එය අල්පේජ්‍ය ජිවිතයෙන් වෙන්වීමකි.අනෙකුත් ආගම් තුළද මෙවැනි තත්වයක් දක්නට නොමැත.ලංකා භීක්ෂු දේශපාලනය  1948 සිට විවිධ අවස්ථා පසු කරමින් වර්තමානය වන විට එහි අහිතකර තත්වයට පත්ව ඇති අතර එය සමස්ථ භික්ෂු සමාජයෙන්ම දක්නට නොලබුවද දේශපාලනික භික්ෂුව එකී දේශපාලනය නිසා  වර්තමානයේ අසන්වර තත්වයට පත්ව ඇත.  කෙසේ වූවද භික්ෂුන් වහන්සේලා හට බෞද්ධයන් වන අප තුළ පවතින්නේ නොමද ගෞරවයකි.එය වෙනස් කළ නොහැක.




                                   






0 comments: